ජාලගත අවකාශයේ තීර්ථයාත්‍රිකයා

ජාලගත අවකාශයේ අතරමංවී...ඔහේ ඇවිදන් ගිය ගමන...

Sunday, November 27, 2011

නිමාවූ සරසවිය



උනුන් පරයා නැගෙන උන් මැද
ගෙවූ කාලය අවසන්ව ඇත
දුවන්නන්වාලේ දිවූ මග
විඩාවට අවසානයක්වෙද. . . 


සිවු වසක් තුල ගෙවූ දිවියේ
සොඳුරු සටහන් මතකයන් මැද
කටුක අමිහිරි මතකයන් ඇත
සිතේ පතුලේ ගැඹුරු තැන්වල. . . 


යායුතුව ඇත හැරදමා අද
නිමාවී ඇත සරසවි දිවිය අප
නික්මයාමට අවසරයි මට
සමුදෙමින් සරසවි බිමට අද. . . 


මිතුරු කැල හා කරපු දඟකම්
ආයේ එන්නේ නැත දිවිය වෙත
දුටිමි විවිධාකාරයේ මිනිසුන්
බෙලි කැපිලි සහ තවත් ජඩ කම්.  . .


සොඳුරු කාලය නිමාවී ඇත
කටුක කාලය උදාවී ඇත
ජීවිතේ බර දෙඋර මත ගෙන
සීරුවෙන් දැන් යායුතුව ඇත. . .

Saturday, July 23, 2011

නිදහසේ පියාඹන්න


ඉමක් කොනක් නැති
නිල් අහස පුරා
පාවෙන්න ඇත්නම්
සුලඟසේ සැහැල්ලුවෙන්
සියලු බැම්මෙන් මිදී
ජීවිතේ බර හැරදමා . . .


ජීවිතේ හිණිපෙත්ත මතින්
අහසට පැන කුරුල්ලෙකුසේ
නිදහසේ පියඹන්න ඇත්නම්
වගකීම් අභියෝගවලින් 
විඩාපත් සිතට
රැල්ලට තරඟයේ දුවා
විඩාපත් ගතට
වෙමින් මඳකට අස්වැසිල්ලක් . . .


අහස සේ සැහැල්ලුව
පොලොව සේ නිසලව
කුරුල්ලෙක් සේ නිදහසේ
සිටිය හැකිනම් ජීවිතේ . . .

Wednesday, July 13, 2011

තීර්ථතරණය


ජීවිතේ මග නොදැන
ඔහේ ඇවිදන් ගිය ගමන
මං මාවත් දිගේ
සැරිසරා  වෙහෙසවුනු
කාලයට අරුතක්ව
අරඹන්න නවගමන
තීර්ථයාත්‍රාවක් විලස...